( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මුල් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ හීලෑ අලි ඇතුන් 15 දෙනා, වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය ලබන මස 13 වැනිදා තෙක් බලපැවෙත්වෙන පරිදි නිකුත් කරනු ලැබිණි.
නීතියට පටහැනිව අල්ලා ගනු ලබන අලි ඇතුන් අදාළ ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචියට කිරීමට ඉඩ සලසා ඇති බව සදහන් කරමින් , ඒම ක්‍රියාව වළකාලන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පිරිසක් ගොනු කර තිබූ මෙම රිට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
එසේම අධිකරණය විසින් මුදා හරින ලෙස නියෝග කර තිබෙන "සුජීවා" නැමැති ඇතින්නිය සහ ඇගේ පැටවා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ තවදුරටත් රඳවා තබන ලෙස ද අභියාචනාධිකරණය නියෝග කෙරිණ..
මෙම පෙත්සම් ඊයේ (29)කැදවූ අවස්ථාවේදී පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වලට අතරමැදිපාර්ශව පෙත්සම් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියහ.
ඒ අනුව මෙම ඉල්ලීම් වලට අදාල ලිඛිත දේශන සහ විරෝධතා තිබේ නම් ඒවා ඔක්තෝබර් මස 13 වනදා ට පෙර ගොනු කරන ලෙස අධිකරණය ඔවුන්ට නියම කෙරිණ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, පත්‍රගොඩ කංකානම්ගේ දිලේනා, පංචාලි මධුරංගි පනාපිටිය, මහේෂි නලින්කා මුණසිංහ, වාද්දුවගේ විශාඛා පෙරේරා තිලකරත්න මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික සත්වෝද්යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ස්ථානාධිපති (අංක 01), පොලිස්පති සී ඩී වික්‍රමරත්න, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන්, මාතලේ මහේස්ත්‍රාත් සී. වික්‍රමනායක සහ නීතිපතිවරයා වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටිති.
හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය (අංක 2241/41) ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
නීතීඥ නිම්මි සංජීවනී මහත්මිය මගින් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
ආසියානු අලියා ආසියා කලාපයට විශේෂිත වූ වදවීමේ තර්ජනයට ලක් වූ සත්වයෙකි.ශ්‍රී ලංකාවේ වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත සත්වයෙකු ලෙස ප්‍රකාශයට පත් කර ඇත. නිසි ලෙස ලියාපදිංචි නොකළ අලි ඇතුන් ළග තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
පසුගිය අගෝස්තු 19 වැනිදා ප්‍රකාශිත පත් 2241/41 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය විධි විධාන මගින් නීතියට පටහැනිව අල්ලා ගනු ලබන අලි ඇතුන්ද ලියාපදිංචියට ඉඩ සලසා ඇත.මෙම ගැසට් පත්‍රයේ විධි විධානයන්ට අනුව අල්ලා ගනු ලබන අලි ඇතුන් වානිජ ක්‍රියා සදහා භාවිතා කිරීමට ඉඩ කඩ සැලසේ.ඊඨ අමතරව මෙම ගැසට් පත්‍රයේ විධි විධාන යටතේ තබා ගන්නා අලින්ට යම් හිරිහැරයක් සිදුවුවහොත් චූදිතයින්ට නීතියෙන් ගැලවී යාමටද ඉඩ අවස්ථාද ඇත.මෙම ගැසට් නිවේදනයේ විධි විධානයන් වනසත්‍ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ විධි විධානයන්ට පටහැනිව නිකුත් කර තිබේ.
හීලෑ අලි ඇතුන් 14 දෙනෙකු මුදා හැරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නොබෝදා ලබා දුන් නියෝගය වනසත්‍ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ විධි විධානයන්ට ද පටහැනි වේ.ඊට අමතරව මෙම නඩු වලදී අදාළ අලි මුදා හැරීමට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු දණ්ඩ නීති සංග්‍රහයේ 112 ,162 ,181 ,199 , යන විධි විධානයන්ටද පටහැනි වේ.
ඒබැවින් හීලෑ අලි ලියාපදිංචිය විධිමත් කිරීම සඳහා අයිතිකරුවන් වෙත ආපසු අලි බාර දීමට අදාළව වනජීවි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන ආඥාවක් නිකුත් කරන ලෙසද , ඒ යටතේ
කොළඹ හා මාතලේ මහේස්ත්‍රාත්වරුන් දුන් නියෝග අහෝසි කරන ලෙසද , අදාළ අති විශේෂ ගැසට් පත්‍රය යටතේ ලියාපදිංචි කොට අලි ඇතුන් ලග තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය මගින් කටයුතු කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසද , වනසත්‍ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ යටතේ ලියාපදිංචි කළ නොමැති අලි ඇතුන් ලග තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන ලෙස නියෝග කරන ලෙසද , පෙත්සම්ක්රුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, නීතීඥ රවිනද්‍රනාත් දාබරේ සහ නීතීඥ නිල්මල් වික්‍රමසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ.

