මුතුරාජවෙල මැනීම් මාස 06න් ඉවර කිරීමට එකඟවෙයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මුතුරාජවෙල අභය භූමියේ 1, සහ 2 කොටස් වලට අයත් මායිම් ලකුණු කිරීම මාස හයක් තුළ සිදු කර අවසන් කිරීමට වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් එකගත්වය පල කර ඇතැයි නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එසේම මුතුරාජවෙල පරිසර ආරක්ෂණ කලාපයට අයත් දකුණු සහ බස්නාහිර සීමාවන් ලකුණු කිරීම ට මධ්‍යම පරිසර අධිකාරිය එකගත්වය පල කර ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දෙන ලදි.

මුතුරාජවෙල අභය භූමිය හා තෙත්බිම් කලාපය තුළ සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සහ කැලි කසල බැහැර කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී නීතීපති වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් කියා සිටියේ මුතු රාජවෙල අභය භූමිය සහ පරිසර ආරක්ෂණ කලාපය ට අයත් සීමාවන් ලකුණු කිරීම ට මධ්‍යම පරිසර අධිකාරිය සහ වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එකගත්වය පල කර ඇති බව ය.

ඒ සදහා ප්‍රාදේශීය ලේකම් වරු, පොලිසියේ සහ පෙත්සම් වල වගඋත්තරකාර පාර්ශවයන්ගේ සහාය ලැබිය යුතු බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සදහන් කලේ ය.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කර ගැනීම සදහා මුතුරාජවෙළ අභය භූමියේ නව මායිම් ලකුණු කිරීම ඉතා වැදගත් බවද එම මායිම් ලකුණු කිරීමෙන් අනතුරුව පෙත්සම් කරුවන් මතු කරන ගැටලු රැසක් විසදෙනු ඇතැයිද ඒ මහතා කීය.

මෙම මායිම් ලකුණු කිරීම මෙතෙක් ආරම්භ කර නැති නමුත් සියලු පාර්ශවයන්ගේ සහාය ලැබේනම් එම කටයුතු රඹන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දිය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී 19වැනි වග උත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා සඳහන් කළේ පෙත්සම්කාර කාදිනල් හිමියන්ගේ මැදිහත් වීමෙන් නීතිවිරෝධී ගම්මානයක් සහ දේවස්ථානයක් මුතුරාජවෙල ආශ්‍රිතව ඉදිකර ඇති බව ය.

කරුණු සලකා බැලූ අධිකරණය සැප්තැම්බර් මස 08වැනිදා පෙත්සම් නැවත කැඳවීමට තීරණය කලේය.

මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සදහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් , මුතුරාජවෙළ ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසට මධ්‍යම පරිසර අධිකාරි , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක , වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර , වන ජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ , ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ , පොලිස්පති සී.ඩී වික්‍රමරත්න , වත්තල , මීගමුව , හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් , නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.