
(විනීතා ගමගේ)
ගම්පහ කලාපය භාර පරිසර නිලධාරිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝග මත මෙම පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
මුතුරාජවෙල පරිසර හානියට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් මෙම පිවවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මුතුරාජවෙල තෙත්බිම පිරවීමට පස් අදිමින් සිටි වාහන තමන් සියැසින් දුටු බවත්, එකී පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ගම්පහ පරිසර නිලධාරිවරයාට දැන්වූ නමුත් ඔහු කිසිදු පියවරක් නොගත් බවත් අමරවීර මහතා කීය.
මෙවැනි අවස්ථා රාශියක් නිරික්ෂණය කළ බව කී අමාත්‍යවරයා එකී නිරික්ෂණ වලින් පසු මෙම පියවර ගත් බවද සඳහන් කලේය.
විශේෂයෙන් මුතුරාජවෙල සිදුව ඇති හානිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඔහුගෙන් ඉල්ලූ නමුත් මාසයකට වඩා ගතවී ඇතත් මේ වනතුරු එය ඉටුවී නැතැයි ද හෙතෙම කියා සිටියේය. මෙම නිලධාරියා මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ඇති අතර වෙනත් නිලධාරියෙකු එහි යවන බව එම අධිකාරිය කියයි.

