මීනගයා දුම්රියේ මැදිරි පීලි ගත කරයි


(කුෂාන් ජයවර්ධන)

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ අවුකන උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමෙන් අනතුරට පත් මීනගයා දුම්රියේ මැදිරි රැසක් මේ වනවිට පීලි ගත කර තිබෙන අතර එම කටයුතු අද (22) රාත්‍රියේදීත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘‘මහව හා ත‍්‍රිකුණාමලය ධාවනාගාර ෆෝමන්වරුන් හා දුම්රිය මාර්ග හා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් පිරිසක් එක්ව අනතුරටපත් මැදිරි හා දුම්රිය එන්ජිම පීලිගත කිරීම් ආරම්භ කර තිබෙනවා.

දැනට මැදිරි 6ක් මෙම ස්ථානයෙන් ඉවත් කරගැනීමට හැකිව තිබෙනවා. තවත් මැදිරි 4ක් හා දුම්රිය එන්ජිම පීලි ගත කිරීමට ඉතිරිව තිබෙනවා. එම මැදිරි හා එන්ජිම පීලිගත කිරීම සඳහා කොළඹ ධාවනාගාරයේ සිට විශේෂ දොඹකරයක් මෙම ස්ථානයට ගෙන්වා ගැනීමට සිදුව තිබෙනවා. කාලගුණික තත්ත්වයේ බලපෑමක් ඇති නොවුණහොත් හැකි ඉක්මනින් මෙම කටයුතු නිමාකරමින් දුම්රිය ධාවනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා‘‘ යැයිද කීය.

පීලී පැනීමෙන් අනතුරටපත් මිනගයා දුම්රියේ ඉතිරිව තිබූ මැදිරි 4 න් තවත් මැදිරියක් අද රාත‍්‍රිය වන විට එම ස්ථානයෙන් ඉවත් කර තිබෙන අතර මේ වනවිට ඉතිරි මැදිරි තුන හා දුම්රිය එන්ජිම දුම්රිය කාර්ය මණ්ඩලය විසින් පීලිගත කිරීම ආරම්භ කර ඇත.

අනතුරට පත් දුම්රිය එන්ජිම නැවති ඇත්තේ කලාඔය පාලම මතදීය. එන්ජිම පීලිපැනීම හේතුවෙන් අඩි 40ක් පමණ උසින් වූ දුම්රිය පාලම මත වූ දුම්රිය මාර්ගයටද හානි සිදුව තිබේ.

මේ නිසා අනතුරට පත්ව පාලම මත නැවති ඇති දුම්රිය එන්ජිම කලාඔයට නොවැටී ඉවත් කර ගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී වී.එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කොළඹ මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. දුම්රිය පීලිපැනීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ මීටර් 200ක පමණ කොටසක් විනාශවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ 200 කට ආසන්න දුම්රිය මගීන් පිරිසක් එහි ගමන් කර ඇති අතර මෙම දුම්රිය අනතුරින් කිසිදු අයෙකුට තුවාල හෝ වෙනත් හානියක් සිදුව නොතිබීමද විශේෂත්වයකි.

දුම්රිය රියදුරා ඇතුලු කාර්ය මණ්ඩලයේ සැලකිල්ල නිසා දුම්රිය කලා ඔයට නොවැටී බේරාගෙන ඇති අතර, සිදුවීමට තිබූ විශාල හානියක් වැළකී ඇති බවද පොල්වත්තගේ මහතා පැවැසීය.