මිනුවන්ගැටේ සමූපේ කොටසක් කළමනාකාරියගේ හිස මතට වැටේ


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල සමුපකාර සමිතියට අයත් මිනුවන්ගැටේ ප්‍රාදේශීකය සහ ග්‍රාමීය බැංකුව පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් හිසට කඩාවැටීමෙන් එම ප්‍රාදේශීකයේ කළමනාකාරවරිය රෝහල් ගත කර ඇති බව වාරියපොල පොලිසිය කියයි.

මෙම නව ගොඩනැගිල්ල භාවිතයට ගෙන වසර දෙකක් වත් ඉක්මගොස් නොමැති බව ප්‍රදේශවාසීහු පවසති. මේ වනවිට ගොඩනැගිල්ලේ බිත්ති බොහොමයක් පුපුරා ගොස් ඇති අතර ටික කලකට ඉහතදී ටයිල් ගැලවී ගොස් නැවත සැකසූ බවද වාර්තා වෙයි. මෙම ගොඩනැගිල්ල අනතුරුදායක බව මීට පෙර සිටි කළමනාකාරවරිය ද සමුපකාර සමිතියට පැමිණිලි කර ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ  කොන්ත්‍රාත්තුව සිදුකර ඇත්තේ සමුපකාර අධ්‍යක්ෂ කණ්ඩලයේම දෙදෙනෙකු බව වාරියපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන ජයතිස්ස මාකුඹුර මහතා කියා පවසයි. 

තාක්ෂණික නිලධාරින්ගේ අධීක්ෂණය මත සිදුකළ ඉදිකිරීමක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා ඉතාමත් වංචනික ආකාරයට ප්‍රමිතියකින් තොරව සිදුකළ කොන්ත්‍රාත්තුවක් බවද පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් මීට ප්‍රථම වයඹ පළාත් සමුපකාර කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය.

මේ සම්බන්ධයෙන් වාරියපොල සමුපකාර සමිතියේ සභාපති ආනන්ද මඩාටුව මහතාගෙන් කල විමසුමකදී සභාපතිවරයා කියා සිටියේ මෙම ගොඩනැගිල්ල නිසි පරිදි ටෙන්ඩර් කැදවා ඉදිකිරීම් කිරීමට පියවර ගත්තත් එම ප්‍රදේශයෙන් සමුපකාරයට තේරී පත්වූ සභිකයින්ගේ ඉල්ලීම මත එම ප්‍රදේශයේම පිරිසකට ඉදිකිරීම් බාරදුන් බවයි. ඔවුන් මෙම ඉදිකිරීම් නිසිපරිදි සිදුකර නොමැති බවට පැමිණිලි ලැබී කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බව කී සභාපතිවරයා එම ගොඩනැගිල්ලේ අනෙක් පස සිටින ග්‍රාමීය බැංකුවේ පිරිස්ද මෙම අවධානම් තත්වය හේතුවෙන් හෙට දිනයේදී වෙනත් ස්ථානයකට මාරු කිරීමට කටයුතු කරන බවද පැවසීය.