මිනිස් සිරුරේ උෂ්ණත්වය පහළ වැටිලා


පසුගිය සියවසක කාලය තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය එහි සම්මත අගය වන ෆැරන්හයිට් අංශක 98.6 (සෙල්සියස් අංශක 37) සිට සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව අධ්‍යයනයකින් සොයාගෙන තිබේ.

පර්යේෂකයන් පවසන්නේ අවුරුදු 10ක් ගතවන විට පිරිමින්ගේ ශරීර උෂණ්තවය සෙල්සියස් අංශක 0.03කින් සහ කාන්තාවන්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.29කින් පහත වැටෙන බවයි.

ඒ අනුව 19වැනි ශතවර්ෂයේ සිට මේ වනවිට පිරිමියකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.59කින් පහත වැටී ඇති අතර 1890 වර්ෂයේ සිට කාන්තාවකගේ ශරීර උෂණත්වය සෙල්සියස් අංශක 0.32කින් පහත වැටී ඇත.

මෙම පර්යේෂණය ඇමෙරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් විසින් සිදුකර ඇති අතර එම නිගමනයන්ට එළැඹීම සඳහා වර්ෂ 1862 සිට 2017 දක්වා කාලය තුළ පුද්ගලයන් 190,000ක පිරිසකගෙන් එකතුකරගන්නා ලද උෂ්ණත්ව කියවීම් 677,000ක් විශ්ලේෂණය කර තිබේ.

19 වැනි ශතවර්ෂයේ දී මිනිසාගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 98.6ක් ලෙස සම්මත කරගෙන ඇත්තේ ජර්මානු වෛද්‍යවරයකුවන කාර්ල් රෙයින්හෝල්ඩ් විසින් ජර්මානු රෝගීන් 25,000ක උෂ්ණත්ව කියවීම් මිලියන ගණනක් අධ්‍යයනය කිරීමෙනි.

පසුව එය ඇමෙරිකානු සහ යුරෝපීය වෛද්‍යවරු විසින් ද තහවුරු කර තිබේ. ඉන්පසුව එය ලෝකය පුරා මිනිසුන්ගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ලෙස පිළිගනු ලැබිණි.

(විදෙස් පුවත් ඇසුරින් - 085)