මැදිරිගිරිය ඉන්ධනහල අසල කලහකාරීන් එලවන්න අහසට වෙඩි


(චාපා මධුභාෂීණී)

මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ පෝලිමේ සිටි පිරිසක් ඉන්ධන නොලැබීම නිසා කලහකාරි ලෙස හැසිරෙමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාර ඒල්ල කරද්දී ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීහු අහසට වෙඩි තැබූහ.

විරෝධතාකරුවන්ගේ ගල් ප්‍රහාරයෙන් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නවතා තිබූ වාහනවලට අලාභ හානී සිදු වූ අතර එක් අයකු තුවාල ලබා මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි.

අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලට පසුගිය 17 වන දින සවස පෙට්‍රල් ලීටර 13 200 ප්‍රමාණයක් ලැබී ඇති අතර මෙම ඉන්ධන තොගය  ජනතාවට බෙදා දීමට ඉන්ධන පිරවුම්හල් සේවකයන් කටයුතු කර තිබුණි.

ඒහෙත් ඊයේ (18) උදෑසන මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මින්නේරිය සහ පොලොන්නරුව යන පොලිස් ස්ථානයන්ට අනුයුක්තව සේවය කරන පොලිස් නිළධාරීන් විශාල පිරිසක් සිය නිළ ඇදුමින් සැරසී ඉන්ධන ලබා ගැනීමට කටයුතු කිරීමත් සමග දින ගණනාවක් පොලිම්හි රැදී සිටි පිරිස නොසන්සුන්කාරීව හැසිරුනහ.

මෙම පොලිස් නිළදාරීන් සිය වාහනවලට ඉන්ධන ලබා ගැනීම පමණක් නොව බැරල්, බූලි වැනි දෑටද ඉන්ධන ලබා ගත් බව එම පිරිස් චෝදනා කළහ.

ඒ අවස්ථා ඉන්ධන පිරවුම්හල් ප්‍රකාශකයෙක් ජනතාව වෙත නිවේදනය කරමින් කියා සිටියේ ප්‍රමාණවත් පිරිදි ඉන්ධන පවතින හෙයින් නොසන්සුන් වන ලෙසයි.

ඉන්ධන සංචිත රාත්‍රී 8.00 පමණ අවසන් බව ඉන්ධන පිරවුම්හලෙන් දැනුම්දීමත් සමග පොල්මේ රැදී සිටි පිරිස ප්‍රකෝපකාරී විය. පසුව මෙම පිරිස ඔවුනට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වූයේ උදෑසන කාලයේ සිට රාජ්‍ය නිළදාරීන්ට ඉන්ධන ඉකුත්කිරීම හේතුවෙන් බව පවසමින් ඉන්ධනහලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළහ.

පසුව මෙය මැඩපැවැත්වීම සදහා පොලිසිය අහසට වෙඩි තැබීමක්ද සිදු කෙරුණී.

ඉන්ධන පිරවුම්හලට එල්ල කළ මෙම ප්‍රහාරය හේතුවෙන් පෙට්‍රල් ගෙන්වීම තාවකාලිකව නතර කළ බව ඉන්ධනහල් කළමනාකාරීත්වය දැනුම් දුන්නේය.