(සුජිත් හේවාජුලිගේ )
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික මැණික් පතලකින් හමුවූ මැණික් පොකුර විකුණා ගැනීමට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මැදිහත්ව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලිත කොහොන මහතාට පෞද්ගලිකවම උපදෙස් ලබාදී ඇතැයිද දැනගන්නට ඇත.
චිනයේ මැණික් මිලදී ගන්නා ධනකුවේරයන් සිටින හෙයින් ඒ පිරිස් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
මේ අතර මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් රටවල් කිහිපයකින් විවිධ විමසීම් කර ඇති බව මැණික් හා මැණික් ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රටේ මුදල් ප්‍රශ්නයක් පවතින මොහොතක මෙවැනි වටිනා මැණිකක් හමුවීම වාසනාවක් බවත් අයිතිකරුගේද කැමැත්ත අනුව මෙය හැකි ඉක්මනින්ම විකුණා ගැනීමට බලාපොරොත්තු වන බවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය .
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ මෙම ආරුනූල් මැණික් සමූහය කිලෝ ග්‍රෑම් 510ක පමණ බරින් යුක්ත වූවකි.
මෙය ලෝකයේ මෙතෙක් හමුවූ විශාලතම ආරනූල් මැණික් සමූහය ලෙස සැලකේ.
කිසියම් ස්ථානයක විශේෂ ආරක්ෂක රැකවරණය යටතේ තැන්පත් කරනු ලැබ ඇති මෙම මැණිකේ වටිනාකම තක්සේරු කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ වී ඇතැයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

