මාලනීගේ අභාවයෙන් ඇතිවු හිඩැස පිරවිය නොහැකියි


(යොහාන් භාසුර)

මාලනී ෆොන්සේකා මහත්මිය ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක ලෙස දශක ගණනාවක් මෙරට සිනමාව අර්ථෙයන්, රසයෙන් සහ රූපයෙන් පෝෂණය කර නික්මයාමෙන් දේශීය සිනමාවේ ඇතිවන හිඩැස නැවත පිරවිය නොහැක්කක් යැයි හැගෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ ප්‍රථම හා එකම නිළි රැජින වෙමින් දේශීය සිනමාව සිය රංගන දායකත්වයෙන් පෝෂණය කළ මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය සැළවීමෙන් තමන් මහත් කම්පනයට පත්වූ බවත් නිධානය,  සිරිපාල හා රන්මැණිකා, බඹරු ඇවිත්, ආරාධනා, හිඟන කොල්ලා  ඇතුළු  සියයකට අධික ජනාදරයට පත් සිනමා නිර්මාණයන් ස්වකීය නිසඟ රංගන දායකත්වයෙන් පෝෂණය කළ ඇය ඒ වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් හා සරසවිය සම්මාන රැසකින්ම පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ බවත් අග්‍රාමාත්‍යවරිය පවසන්නීය.

ඇය පණ පෙවූ අපූර්ව චරිතයන්ගේ සදාතනික මතකයන් පමණක් නොව, සිනමාව වැනි ඉසියුම් කලා මාධ්‍යයකට දායකවීමේ දී තමන් ඒ වෙනුවෙන් කෙතරම් කැපවිය යුතුද යන්න භාවිතයෙන්ම පසක් කළ ඇය දේශීය සිනමාවේ හෙට දවස පෝෂණය කරන්නට පෙර මං බලා සිටින මතු පරපුර වෙනුවෙන් පාර කියන තාරකාවක් ද වන බවත් අපගේ පරපුර හැදීවැඩුණේ ඇගේ සිනමාව ඇසුරෙනි අප සිනමාවට පෙම්බැන්දේ ඇගේ රංගනය නිසාවෙන් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩි දුරටත් සඳහන් කළාය.