(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්මි කුඩලිගම)
දියණිය සමග සාරි වෙළදාමේ පැමිණි කාන්තාවකගේ රන් මාලය කොල්ලකා පළා යමින් සිටි හමුදා සෙබළකු විනාඩි කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට පාසල් සිසුන් පිරිසකගේ නොමද සහය ලැබීමේ පුවතක් මතුගම පොලිසියෙන් වාර්තා වේ.
රාජ්‍ය ආයතන වලට ගොස් රෙදිපිළි අලෙවි කිරීමේ යෙදුණු මතුගම ගල්මත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මතුගම රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩලයට රෙදිපිළි අලෙවි කිරීමෙන් අනතුරුව එයින් පිටවී මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඒ අසන්නයේ රැඳී සිටි එක වරම කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන දිව යාමේ දී කාන්තාව මහ හයියෙන් "අනේ මගේ මාලේ කඩා ගත්තා යැයි" කෑ ගසා තිබූ බව පොලිසිය කියයි.
එය කණ වැකුණු පාසල නිම වී නිවස කරා යමින් සිටි සිසුන් පිරිසක් රන් මාලය කොල්ලකා පළා යමින් සිටි සැකකරු පසුපස හඹා ගිය අතර සැණෙකින් එම ස්ථානයේ සිටි පිරිස 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට මෙන්ම මතුගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථයෙන් මේ බව ලහි ලහි දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
එහි ප්‍රතිඵලයක් ද ලෙස වහා ක්‍රියාත්මක වූ 119 යතුරු පැදි සංචාරයේ නිලධාරීන් මෙන්ම මතුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශය කරා පැමිණීමේ දී පාසල් සිසුන් සැකකරු පසුපස හඹා ගිය බවට තොරතුරු ලැබීමත් සමගම සිසුන් සොයා ගොස් ඔවුන්ගෙන් සැකකරු පිළිබඳ විමසීමේ දී ඒ අසන්නේ විද්‍යාලයක් පිටුපස කැලෑව දෙසට සැකකරු පලාගිය බවට පවසා තිබිණි.
ඒ අනුව මතුගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත ක්ෂණික මෙහෙයුමක් එම කැලෑවේ සිදුකර සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.

