මාර්ග අනතුරු අවම කරන්න විශේෂ තේරීම් කාරක සභාවක්


(යොහාන් භාසුර)

මාර්ග අනතුරු හේතුවෙන් වටිනා මිනිස් ජීවිතවලට සහ ආර්ථිකයට වන හානිය ඇතුළු විශාල හානීන් පිළිබඳව අවදානය යොමුකර ‘මාර්ග අනතුරු අවම කිරීම පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව’ක් පත්කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

එම විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 11 දෙනෙක් ඇතුළත් වියයුතු බව ද එම ලිපියේ සඳහන් වේ.

මාර්ග අනතුරුවලට බලපා ඇති හේතු හදුනාගැනීම, මාර්ග අනතුරු අවම කිරීම සඳහා වන නීති රාමුවල පවතින අඩුපාඩු හදුනාගෙන ඒවා යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ හදුනාගැනීම සහ මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යෑම සඳහා බලපා තිබෙන අනුෂාංගික කරුණු හදුනාගැනීම, මාර්ග අනතුරු අවම කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඇතුළු ප්‍රායෝගිකව කළ යුතු ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම එම විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉටුකළ යුතු බව ද අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා සදඟන් කර තිබේ.