මාධ්‍ය නියෝජිත - නගරාධිපති අන්ත දෙකක


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල වර්තමානයේ පවතින ගැටලු සහ වර්තමාන තත්ත්වය පිළිබඳව නව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සමග පැවැත්වෙන සාකච්ඡා අවස්ථාවට මාධ්‍යවේදීන්ට ඇතුළු නොවන ලෙස  දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුම්දුන්නේය .

මතලේ  දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ  තනතුරු දරන සේවකයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් දඹුල්ල බස් නැවතුම්පොලේ පිහිටි දඹුල්ල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී අද (19) පෙරවරු 9.30 ට පැවැත්වීමට සූදානම් කර තිබිණි.

මෙම අවස්ථාව මාධ්‍ය ආවරණය කර දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයාගේ මාධ්‍ය ඒකකය මගින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට දැනුම් දී තිබිණි. ඒ අනුව 9.30 වන විට මාධ්‍යවේදීන් සියලු දෙනාම එම ස්ථානයට පැමිණ සිටියහ.
පසුව එම ස්ථානයට පැමිණි   දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියා සිටියේ සාකච්ඡාව ඇතුළත පටිගත කිරීම් සිදු නොකරන ලෙසත් පිටත සිදුවන  දේ  රූපරාමු ලබාගෙන වාර්තා කරන ලෙසටත්ය.

කෙසේ වෙතත් මාධ්‍යවේදීහු එම අවස්ථාවට සහභාගි නොවී රැස්වීම් ශාලාවේ රැඳී සිටි සිටියහ.

එම අවස්ථාවේ මාධ්‍යවේදීන් ඉදිරියට පැමිණි ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය නියෝජිතයෙකු කියා සිටියේ මාධ්‍යවේදීන්ට ඇතුළට පැමිණ එහි වාර්තා කරන ලෙසය. කෙසේ වෙතත්  එම ස්ථානයට පැමිණ නගරාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන ආයතනවල පවතින විවිධ අඩුපාඩු ගැටළු පිළිබඳව ස්ථානය සාකච්ඡා කරන නිසා සාකච්ඡා  අවශ්‍ය නම් රූපරාමු ලබාගෙන එළියට පැමිණ සාකච්ඡාවෙන් අනතුරුව ඕනෑම ප්‍රශ්නයක් විමසිය හැකි බවය. එමෙන්ම කසල අංගනය නිරීක්ෂණය සිදුකරන අවස්ථාවට මාධ්‍යවේදීන්ට සහභාගිවීමට හැකි බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.

කිසිවිටත් ආණ්ඩුකාර කාර්යාලයෙන් විධිමත් ලෙස මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීම අනුව පැමිණි මාධ්‍යවේදීන් පළාත් පාලන ආයතනවල පවතින ගැටලු තත්ත්වය වාර්තා කිරීමට නොහැකි වීමත් සමඟ එම ස්ථානයෙන් සියලුදෙනාම පිටත්ව යන්නට වූහ.

එම සාකච්ඡාව සඳහා සහභාගී වන මාතලේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ගෙන් අප මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ පළාත් පාලන ආයතනවල දැඩි ප්‍රශ්න ගැටලු රැසක් පවතින නිසා නගරාධිපති වරයා මෙම රැස්වීම සූදානම් කර තිබෙන බවය. මාධ්‍යවේදීන්ට ස්ථානයට ඇතුළුවීමට ඉඩ හසර ලබා නොදීම පිළිබඳව එම නියෝජිතයන් දැනුවත් වී නැති බව ද ඔවුහු සඳහන් කළහ.