මහවිරු උත්සව කළොත් වෙන දේ පොලිස්පති අධිකරණයට දන්වයි


(රන්ජන් කටුගම්පොළ)

ලබන 27 වැනිදා සිට ඉදිරි දිනවල පැවැත්වීමට සංවිධානය කොට ඇති අනීතිකව සිදු කරනු ලබන මහවිරු සමරු උත්සව සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කරන බව පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

විශ්‍රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී ආනන්ද ජයමාන්න මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමක් සලකා බැලීමෙන් පසු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද්‍ර වික්‍රම මහතා විසින් අධිකරණය හමුවේ මෙම පොරොන්දුව ලබා දෙන ලදි.

එස්.යූ.බී කරලියැද්ද සහ මායාදුන්න කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන්  පැවැත්වීමට කටයුතු යොදා ඇති මහවිරු සමුළුව වෙනුවෙන් කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කළ  වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණියගේ හඬ යොදාගෙන මෙම උත්සවය පැවැත්වීමට සංවිධානය කොට ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් ඒ හේතුවෙන් උතුරු නැගෙනහිර සහ රටේ අනෙකුත් ප්‍රදේශවල සිවිල් කලබලකාරි තත්ත්වයක් ඇතිවෙන්නට ඉඩ තිබෙන බවත් ඒ හේතුවෙන් එම කටයුතු වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බුද්ධි අංශ නිලධාරියා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත

පෙත්සම්කාර විශ්‍රාමික බුද්ධි අංශ නිලධාරියා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද වික්‍රම මහතා පෙනී සිටියේය