මහර බන්ධනාගාරයේ සැකකරුවකුට දුම්කොළ දුන් නියාමකගේ වැඩ තහනම්



(ජයන්ත සමරකෝන්)

මහර බන්ධනාගාරයේ සැකකරුවකුට දුම්කොළ ගෙනැවිත් දී විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු කිරීමේ ක්‍රමය මත සිය බැංකු ගිණුමට රුපියල් 5000ක් බැර කරගත් බව කියන නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

සිරකුටියක් පරීක්ෂා කිරීමේදී සැකකරුවකු සන්තකයේ තිබී සොයාගත් දුම්කොළ පිළිබඳව කළ ප්‍රශ්න කිරීමේදී ඒවා සැකකාර නියාමකවරයා ගෙනැවිත් දුන් බව පවසා ඇතැයි එහි නිලධාරියෙක් පැවසීය. පසුව, සැකකරුගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීමේදී විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු කර රුපියල් 5000ක් සැකකාර නියාමකවරයාගේ ගිණුමට දැමූ බව ඇය පිළිගෙන ඇතැයිද එම නිලධාරියා කීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ උපදෙස් මත බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ හා ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙණිය යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.