(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල මහමෝදර ලිංග්‍රාශ්‍රිත රෝග සායනයෙන් මේ වසර තුළ ඒඩ්ස් රෝගය වැළඳී ඇති රෝගීන් 8 දෙනෙකු සොයාගත් බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ මහමෝදර ශික්ෂණ රෝහල් සායනයේ විශේෂඥ වෛද්‍ය දර්ශණී විජේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය.
දැනට තම සායනයෙන් ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාර ගැනීම පිණිස රෝගීන් 65 දෙනෙකු ලියාපදිංචිව සිටින බව වෛද්‍යවරිය පැවසුවාය. මෙම රෝගය වැළදී ඇත්තේ ලිංගික සක්‍රීය වයස් කාණ්ඩය වන වයස අවුරුදු 25 - 50 දක්වා වයස් පරාසවල අයට බවද ඇය පැවසුවාය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇති බවද පවසන විශේෂඥ වෛද්‍ය විජේවික්‍රම මහත්මිය මෙම තත්වය වළක්වා ගැනීම සහ රෝග නිවාරණය වෙනුවෙන් තම සායනය මගින් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද පැවසුවාය.
ඒ අතර එච්අයිවී යැයි සැක සිතීමට හැකි රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයෙක් හමු වුවහොත් ඔහුට නොවරදවාම එච්අයිවී පරික්ෂාව සිදුකිරිම අත්‍යවශ්‍ය බවට වෛද්‍යවරුන් සහ රෝහල් කාර්යය මණ්ඩලය දැනුම්වත් කර සිටීම, ඊට අමතරව අවදානම් අධික කණ්ඩායම් ලෙස හඳුනාගෙන ඇති ලිංගික වෘත්තීකයින්, සමලිංගික සබඳතා පවත්වන්නන්, මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නා පිරිස්, වෙරළ ආශ්‍රිතව සංචාරකයන් සමඟ ගැවසෙන සංචාරක මඟපෙන්වන්නන් සහ සිරකරුවෝ යන අය විශේෂයෙන් පරික්ෂාවට ලක්කරන බවද වෛද්‍ය දර්ශණී විජේවික්‍රම මහත්මිය පැවසුවාය.
මෙම පිරිස් සායනයට ගෙන්වාගෙන හෝ ඒ අදාළ ස්ථානවලට ගොස් ඒ අවදානම් අධික අයගේ රුධිර සාම්පල ලබාගෙන පරික්ෂාවට ලක්කරන මෙම කටයුතු වලට ගෝලීය අරමුදල සම්බන්ධ වී ආධාර උපකාර ලබාදෙන බවද වෛද්‍යවරිය කීවාය.
මීට අමතරව මෙම රෝගය ගැන සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම සඳහා දේශණ පැවැත්වීම, යොවුන් සේනාංකවල තරුණ කණ්ඩායම්වල, සහ පාසල්වල දැනුම්වත් කිරීම් සිදුකරන අතර සාමාන්‍යයෙන් කාර්යාලවල සේවය කරන අය වෙනුවෙන් රුධිර පරික්ෂාවන් සිදුකිරීම වැනි කටයුතු සිදුකරනු ලබන බවද වෛද්‍යවරිය පවසන්නීය.
මෙම රෝගයෙන් වැළකී සිටීමට නම් තමන්ට විශ්වාසවන්ත එක් ලිංගික සම්බන්ධතාවයකට සීමාවීම,හැකි සෑම අවස්ථාවකදීම ආරක්ෂාකාරි උපක්‍රම ( කොන්ඩම් වැනි උපකරණ භාවිතය) මොන යම් හෝ තමන්ට සැක සිතෙන සම්බන්ධතාවයක් ඇත්නම් වහාම ලිංගාශ්‍රිත රෝග සායනකට පැමිණ පරික්ෂා කර ගැනීම, සහ එච්අයිවි හෝ ලිංගාශ්‍රිත රෝගයක් තිබෙන අයෙක් ගැන දැනගතහොත් ඒ පුද්ගලයා සමාජයෙන් කොන් නොකර සාමාන්‍ය ආකාරයට ආශ්‍රය පවත්වා ගනිමින් සිටියහොත් ඔහු සමාජයෙන් හැංගී නොසිට ප්‍රතිකාර සඳහා යොමුවීම හේතුවෙන් රෝගය පාලනය වි අනෙක් අයට රෝගය පැතිරීම පාලනය විම සිදුවන බවද වෛද්‍යවරිය කියා සිටියි.

