මහබැංකු විවාදය කල් යයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින්   ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීමට  රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9)  පැවසීය.

මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 11 වැනිදාය.

පනතට සංශෝධන මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී  ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දෙන බවද  ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහාචාර්ය ජී එල් පීරිස් සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ  අවස්ථාවේදීය.

අගමැතිවරයා මෙසේද පැවසීය.

මුදල් අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අද රැස් වෙනවා. මහ බැංකු අධිපතිතුමාත් ඒකට එනවා. මේ පනත ගැන සාකච්ඡා කරන්න සියලු මන්ත්‍රීවරුන්ට ඒ රැස්වීමට සහභාගි වෙන්න පුළුවන්.පනතට සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරලා තියෙනවා. ඒ අනුව ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.  විවාදයේ දිනය වෙනස් කිරීම ගැන කාගෙත් මත භේදයක් නැහැ. විපක්ෂ නායකතුමාඑකඟයි.

මන්ත්‍රීවරු ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන  මේ සභාගර්භයට ඇවිල්ලා කියන්න එපා අපි දන්නේ නෑ කියලා. අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.