(මොහොමඩ් ආසික්)
මහනුවර - කුරුණෑගල මාර්ගයේ කටුගස්තොට සෙනරත්ගම ප්‍රදේශයේ කොටසක් නැවතත් ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ.
මීට මාසයකට පමණ ඉහතදීත මෙම මාර්ග කොටසම ගිලා බැසීමකට ලක් වී තිබිණි.
මාර්ගයේ විශාල කොටසක් මේ වන විට ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමා කර ඇත.
මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය සමඟ මෙම මාර්ග කොටස යළි මේ අයුරින් අවදානමකට ලක්ව ඇතැම් ස්ථාන ඉරි තලා ඇති බව ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති.
ගිලා බැසීමට ලක්ව ඇති මෙම ස්ථානය ඉතා ඉක්මනින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙසත් ඔවුහූ ඉල්ලා සිටිති. මෙම ස්ථානයේ යොදා ඇති මාර්ග බාධක නිසා නිතර අනතුරු සිදුවන බවද ඔවුහු කියති.
ගිලා බැසීමට ලක්ව ඇති මෙම මාර්ගය පිළිසකර කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් විමසීමේදී ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේය.




