මහකනදරාවෙන් රජකාලේ පාලමක් මතු වේ


පවතින වියළි කාළගුණය හේතුවෙන් අනුරාධපුරය මහකනදරාව වැවේ ජලය සිඳී යාමෙන් ඉපැරණි මාර්ගයක සහ පාලමක කොටස් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වැව මැද සිට මීටර කිහිපයක් ස්ථිර මාර්ගයක් ලෙස එය ඉදිකර ඇති අතර මාර්ගය කෙලවරේ පාලමක කොටස් මතුව ඇති බවත් ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා පැවසුවේ එම මාර්ගය බිතාන්‍ය යුගයේ මුල් වකවානුවේ ඉදිකළ මාර්ගයක් බවයි.

පසුකාලීනව වැව ප්‍රතිසංස්කරණය කිරීමත් සමඟ එම මාර්ගය ජලයෙන් යටවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

මහකනදරා වැව මහසෙන් රජ තුමන් විසින් ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදී කනදරා ඔය හරස් කිරීමෙන් ඉදිකර ඇති බවත් ඔහු පැවසීය.

මුල් වකවානුවේදී කානවාසි ලෙස එම වැව නම් කර ඇති අතර මුල් කාලීන ඉදි කළ මහා පරිමාණ වැව් වලින් ප්‍රධාන වැවක් ලෙසත් එය සැලකේ.

දඹුලු ඔයේ අත්තක් වන මිරිස්ගෝනියාව ඔයේ අමුණක් සකස්කර කනදරා ඔය ඉදිකර ඇති අතර කලා ඔය නිම්නය සහ මල්වතුඔය නිම්නය සම්බන්ධ කර මෙය සකස් කර ඇති බවට පුරාවිද්‍යා සාක්ෂි හමු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මහකනදරා වැව අසලින් අනුරාධපුරේ සිට සේරුවාවිල හරහා ත්‍රිකුණාමලය දක්වා ප්‍රධාන මාර්ගයක් පැවති බවට හා පුරාණ ජනාවාස තිබුණු බවටත් සාක්ෂි හමු වී ඇති බවත් මහාචාර්යවරයා තවදුරටත් කීවේය.

(උපුල් හේරත්)