මහ රැජින ඝාතන තැතක් හෙළිවෙයි


අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජින, 1983 දී ඇමෙරිකා සංචාරයකට ගොස් සිටිද්දී, ඇය ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මක වූ බවට තොරතුරු එෆ්.බී.අයි සංවිධානය මුදා හරින ලද ලිපිගොනු වලින් තොරතුරු අනාවරණය වී තිබේ.

එතුමිය අභාවප්‍රාප්ත වීමෙන් පසු 1983 සිදුකළ ඇමෙරිකානු සංචාරයට අදාල ලිපිගොනු එෆ්.බී.අයි සංවිධානය මුදා හැර තිබේ.

එම ලිපිගොනු මගින් එෆ්.බී.අයි සංවිධානය දෙවැනි එළිසබෙත් රැජිනගේ ජීවිතය ආරක්ෂා කළ ආකාරය පිළිබිඹු වේ. ඝාතන තැත හෙළි කර ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පොලිස් නිලධාරියෙකි. අයර්ලන්ත තැබෑරුමකදී එම පොලිස් නිලධාරියාට මුණ ගැසුණු පුද්ගලයකුගෙන් ලද දුරකතන ඇමතුමක් පිළිබඳ එෆ්.බී.අයි සංවිධානය දැනුවත් කර තිබේ.

රැජින ඝාතනය කර උතුරු අයර්ලන්තයේදී රබර් උණ්ඩයකින් වෙඩි තබා ඝාතනය කරන ලද තම දියණියගේ මරණය සම්බන්ධයෙන් පළිගන්නා බව එම පුද්ගලයා පැවසූ බව නිලධාරියා එෆ්.බී.අයි සංවිධානයට පවසා ඇත.

දෙවන එලිසබෙත් රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරුගේ කැලිෆෝනියා සංචාරයට මාසයකට පමණ පෙර 1983 පෙබරවාරි 4 වැනි දින මෙම ඝාතන තැත අනාවරණය වූ බව එම ලිපිගොනු වල දැක්වේ.

බ්‍රිටැනියා රාජකීය රුවල් නැව ගෝල්ඩන් ගේට් පාලම යටින් යාත්‍රා කරන විට යම් වස්තුවක් රුවල් නැවට අතහැරීමෙන් හෝ එලිසබෙත් රැජින යොසෙමයිට් ජාතික වනෝද්‍යානයට ගිය විට ඇය මරා දැමීමට එම පුද්ගලයා උත්සාහ කිරීමට සුදානම්ව සිටි බව එම ලිපිගොනු වල සඳහන් වේ.

(විමුක්ති එස්. රොද්‍රිගු)