මහ බැංකු පනතට ආණ්ඩුවෙන්ම විරෝධය


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල වැඩි කෙරෙන  ශ්‍රී ලංකා මහා බැංකු සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණැයිද  දැනගන්නට ඇත.

මහ බැංකු සංශෝධන පනත්  කෙටුම්පත  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (2) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වා ඇති  බොහෝ මන්ත්‍රීවරුන්  ප්‍රශ්න කර ඇත්තේ මෙවැනි පනතක් හදිසියේ ගෙන ඒමට ඇති අවශ්‍යතාව කුමක්ද යන්නයි.

දැනට ඇති බලතල යටතේ  නිලධාරීන්ගේ වැටුප් අසීමිත ලෙස වැඩි කරගෙන අන්තනෝමතිකව කටයුතු කරන අවස්ථාවක ශ්‍රී ලංකා මහා බැංකුවට තවත් බලතල දීමෙන්  ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද  ඔවුන් ප්‍රකාශ කර ඇත.

මේ තත්වය යටතේ  මෙම සංශෝධන ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී  ඇත.