මරණ දඬුවම ගැන කර්තෘවරයාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ජනාධිපතිවරයා විසින් සිදුකළ ක‍්‍රියාවට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බැවින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයකු වූ මාලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස අද (2) නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ මෙම රීට් පෙත්සම පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (2) කැඳවූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලිණි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ සළකා බැලූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙසේද කීය.

‘‘මෙම රිට් පෙත්සම නීතියට පටහැනිය. මෙම පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නැහැ.මෙම පෙත්සමේ දෙවැනි වගඋත්තරකරු ක‍්‍රියාත්මක කරන්නේ අමාත්‍ය කාර්යයක් පමණයි. අමාත්‍ය කාර්යයකට එරෙහිව රිට් ආඥාවක් ලබා ගත නොහැකියි.

අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 256 වැනි වගන්තිය ප‍්‍රකාරව මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයාය. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකියි. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් නම් කළ යුත්තේ නීතිපතිවරයායි.

ඒ අනුව මෙම පෙත්සම ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. එහෙයින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේය.

පෙත්සම්කරු වෙනුවෙන් විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම උපදෙස් මත නිරාන් ඇන්කිටෙල් සහ හෆීල් ෆාරීස් යන නීතීඥවරු පෙනී සිටියහ.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.