රොමේෂ් මධුෂංඛ
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් අද (17) උදෑසන වන විට සිරුරු කොටස් 185 ක් හමුවී ඇති බවටත් හමුවූ සිරුරුවල කාල නිර්ණය වෙනුවෙන් විශේෂ පරීක්ෂණයකට ඇමෙරිකාවට යැවීමට අධිකරණ නියෝගය ලැබී ඇති බවට කැණීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිස් වලේ කැණීම් කටයුතු අද වන විට 89 වැනි දිනට සිදු කෙරෙන අතර ගොඩ ගත් සිරුරු 185 න් සම්පූර්ණ සිරුරු 179 කට අදාළ අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එහිදී විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
“මේ වන විට සිදු කරන්නේ කැනීම් කටයුතු දෙවනුව තමයි අපි විශ්ලේෂණ කටයුතු කරන්නේ ඒ වගේම අපි අධිකරණයෙන් මීට පෙර ඉල්ලා තිබුණා කාබන් කාල නිර්ණය සඳහා ඇමෙරිකාවට යැවීමට අවසර දෙන්න කියලා. ඒ අනුව අධිකරණයෙන් ඒ අවසරය මේ වන විට ලැබිලා තියනවා.
අපි දැන් තීරණය කරන්න ඕන කොයි වගේ අස්ථි කොටස් ද යවන්නේ කියලා. එම අස්ථි කොටස් අපි යවන්න තීරණය කරල තියෙන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවල බීටැන්සික් කියන ආයතනය වෙතටයි. ඒ අනුව අපි ඒ ආයතනය සමඟ සාකච්ඡා කරලා කොයි වගේ අස්ථි කොටස්ද ඕනෑ කොච්චර ප්‍රමාණයක් ඕනෑද යවන්න කියන එක අපි තීරණය කරගන්න ඕනෑ“ යනුවෙනි.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනි දා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වයි.