(නිමල කොඩිතුවක්කු)
පවතින අර්බුදකාරී තත්වය තුල බඩු මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ජනතාව ජීවන වියදමෙන් මිරිකෙමින් සිටියදී ජනතාවට සහන ලබාදීම වෙනුවට රාජ්‍ය ඇමතිවරුන් 37ක් පත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පියවර ගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ දී අද (12)පැවසීය.
ඉදිරිය බොහොම අමාරුයි ජනතාවට පටි තද කරගන්න කියන ගමන් ඇමතිවරුන්ට සැප විදීමට වරප්‍රසාද ලබාදීමට කටයුතු කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විදේශ විනිමය හිඟය නිසා ඩොලරයට ගෙවන රුපියල් ගණන වැඩිවීම මෙන්ම ආණ්ඩුවේ දැවැන්ත වියදම රටේ පවතින අර්බුදයට හේතු වී ඇතැයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
තමන් ඇතුළු පිරිසට බස් රථය වැරදීම නිසා ඉන් බැස ගිය බවත් ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අවලාද නගමින් සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන් ඇතුළු පිරිසට බස් රථය වැරදුනේ එක් වරක් පමණක් බවත් බස් එකෙන් නැගලා බැසීම විනෝදාංශය කරගත් ජනතා විමුක්ති පෙරමුණේ ඇත්තේ වැරදි බස්වල ගිය ඉතිහාසයක් බවත් ඔහු පැවසීය.
වැරදි බස් රථවල ගොස් අවසානයේ 2015 දී යහපාලන බස් රථයේ ටිකට් නොමැතිව හොරෙන් ගොස් හසුවුන ජනතා විමුක්ති පෙරමුණ මෙලෙස හැසිරීම සම්බන්ධයෙන් කනගාටු වන බවත් ගම්මන්පිල මහතා තවදුරටත් කීවේය.
මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ පාරිසරික කටයුතු පිළිබඳ ලේකම් ප්‍රසන්න අමරතුංග, පරිපාන ලේකම් තිලින පීරිස් යන මහත්වරුන්ද සහභාගී විය.

