මන්ත්‍රීට පහරදුන් පොහොට්ටු සභාපති ඇතුළු තිදෙනාට ඇප


(ඩී.ජී.සුගතපාල)

ඉමදූව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අනුර මහතාට අද (18) සභා ගර්භය තුලදී පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොදුජන පෙරමුණේ  සභාපතිවරයා සහ මන්ත්‍රීවරු තිදෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හරෂන් කැකුණවෙල මහතා අද (19) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් ද නියම කෙරිණි.

ප්‍රාදේශීය සභාවේ රැස්වීම පැවැත්වෙමින් තිබියදී එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයා සභාපතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් පඹයෙකු රැගෙන සභාවට පැමිණිමත් සමඟ සභාපතිවරයා සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ඔහුට පහරදී තුවාල සිදු කිරීමෙන් පසු ඔහු රෝහල් ගත කරන ලදි.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා පරීක්ෂා කරන ලද කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වෛද්‍ය වාරතාවද සැළකිල්ලට ගෙන ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වයට බලපෑම් නොකරන ලෙස අවවාද කළේය.