මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පෙත්සම 23 දා විභාගයට


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තමන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා පුත්තලම් දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම ලබන 23 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (13) දින නියම කළේය.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ දේවිකා අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී විභාගයට දින නියම කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතා ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු ඇතුළු තිදෙනෙකු ගිනි අවි සන්තකයේ තබා ගන්නා ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා හලාවත මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී. එම නඩු විභාගයේ දී ඉන්පසු පෙත්සම්කරු රුපියල් 50,000/- ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර ඊට අමතරව සතියේ එක් දිනක් පොලිසීයට වාර්තා කරන ලෙසද නියෝග කෙරිණි.

පසුව මෙම ඇප කොන්දේසි කඩකරනු ලදැයි චෝදනා කරමින් ඇප අහෝසි කළ මහාධිකරණය පෙත්සම්කරු  නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

ඉන් අගතියට පත් පෙත්සම්කරු මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කෙරිණි. තමන්ව ඇප මත මුදා හරින්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.