මන්ත්‍රී පුතා රිමාන්ඩ්


(ඔගස්ටින් ප්‍රනාන්දු)  
      
ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ වැඩිමහල් පුතා  ජූලි 4 වැනිදා දක්වා බන්ධනාගාර ගතකරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා අද ( 01) නියෝග කළේය.
 
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ හලාවත කුරුණෑගල පාරේ සේදවත්තේ පදිංචි වලිමුණි මැන්ඩිස් අබේසේකර ඉශාන් චතුරංග (26) නමැති අයයි.  
 
මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර මහතාට සැකකරු විසින් පසුගිය 29 වන දින රාත්‍රියේ මන්ත්‍රීවරයාගේ නිවසේදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර තිබූ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි. 
 
ඒ අනුව සැකකරු අද ( 01 ) උදෑසන පොලිසියට පැමිණ බාර විය.
 
මෙම සිද්ධියේදී තුවාල ලද කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණි. 

අත්අඩංගුවට ගත් මන්ත්‍රී පුත්‍රයාගෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසු ඔහුව හලාවත මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
 
හලාවත පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර නීතීඥ  රුවන් ප්‍රනාන්දු  සහ නීතීඥ නුවන් ජයවීර  යන මහත්වරු  සැකකරු වෙනුවෙන් පෙනීසිටියහ.