මන්ත්‍රී තුනක් ඇමැති බංගලාවල බින්න බැහැලා


(සුජිත් හේවාජුලිගේ)

ඇමති නිල නිවාසවල නීති විරෝධීව  රැඳී සිටින මන්ත්‍රීවරුන්  තිදෙනකු ඉන් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් කටයුතු කරන අංශය මේ සම්බන්ධයෙන්  අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමු කර ඇතැයි දැනගන්නට ඇත.

මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කොළඹ  දිස්ත්‍රික්කයේ  ජ්‍යෙෂ්ඨ  මන්ත්‍රීවරයකුද වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද හදිසි අනතුරකින් පසුගියදා අභාවප්‍රාප්තවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට  ලබා දී තිබූ ඇමති නිවසේ ඔහුගේ පවුලේ සාමාජිකයන් තවදුරටත් රැඳී සිටින හෙයින් ඒ  සම්බන්ධයෙන්ද  කටයුතු කිරීමට සිදුවන බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු ඇතැම් නිවාසවල ඔවුන්ගේ හිතවතුන් ඥාතීන්  සහ ආරක්ෂකයන් රඳවා සිටින බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විමර්ශනයක් අරඹා ඇත.