මත්තලදී ගුවන් යානයක ගින්නක්



(ටී.කේ.ජී.කපිල )
 
මත්තල ගුවන්  තොටුපොලෙන් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක  ඇන්ජිමේ ඇති වු දෝෂයක් හේතුවෙන්  අද (26)   උදෑසන හදිසියේම ගින්නක් හට ගත් බව එහි ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
 
 මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් - 12 වර්ගයේ ,  ඇන්ජින්  දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි . 
 
මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිටියහ .
 
මෙම ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත ඇන්ජිමක් රැගෙන යන අතරතුර දී , යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .


අද (26)  උදෑසන 8.30 ට ටී.එස්.ටී. - 7042 දරණ මෙම ගුවන් යානය අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව , ඕමානයේ සලාම් වෙත පිටත්ව යෑමට සූදානම් වත්ම , එහි එක් ඇංජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ . 

ඒ සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ ,  මෙම ගින්න නිවා දමා තිබේ .

මෙම සිදු වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පැමිණ , මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව ලබා දෙන නිර්දේශය මත , මෙම ගුවන් යානය පිටත්ව යෑම හෝ අලුත්වැඩියා කිරීම සඳහා යොමු කිරීම සිදු වන බව මත්තල ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .