( තිළිණි ද සිල්වා )
ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් රැසක් මත්තල සමග නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සාකච්චා පවත් වමින් සිටින බවත් , ඉන් ගුවන් සමාගම් හතරක් සිය මෙහෙයුම් ආරම්භ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (29) පැවසිය.
අබුඩාබි - මත්තල ගුවන් ගමන් ඉදිරි සති කීපය තුලදී ආරම්භ කරන බවද ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සමාගම මත්තල සිට නව ගුවන් ගමනාන්තයන් රැසක් ඉදිරියේදී ආරම්භ කරන බවත් , ඒ අතර මත්තල - මාලේ සහ මත්තල - කසකස්ථාන් ඉක්මනින්ම ආරම්භ වන බව හෙතෙම පැවසීය.
මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සේම කොවිඩ් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස ද මේවන විට ජාත්‍යන්තරව ශ්‍රේණිගත වී තිබෙන හෙයින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය යටතේ වුවද, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වන විට ඉතිහාසයේ වැඩිම ගුවන් මගී මෙහෙයුම් මේ වන සිදු කර ඇතැයි, ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කීවේය.
මීට සමගාමීව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයද විශාල වර්ධනයන් පෙන්නුම් කර ඇතැයිද හෙතෙම පවසයි.
මත්තල ගුවන් තොටුපල කේන්ද්‍ර කරගනිමින් ගුවන් යානා නඩත්තු ඒකකයක් ඇතිකිරීමට කැමැත්ත ඵල කළ ජාත්‍යන්තර සමාගමක් සමග සාකච්චා පවත්වමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ විශාල වර්ධනයක් හා ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන හා මත්‍ය නිෂ්පාදන විදේශ වෙළද පොල වෙත ප්‍රවාහනය කිරීමද මත්තල ගුවන්තොටුපළ හරහා සිදු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
මත්තල ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලිමට පැමිණි අවස්ථා වේදී ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා මෙම අදහස් දැක්වීය.

