මඩු මංගල්‍යය බැතිමතුන්ට සීමා කරයි


 

(රොමේෂ් මධුෂංඛ)              

ඓතිහාසික මන්නාරම මරඳමඩු දේවස්ථානයේ මෙවර වාර්ෂික මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට හා ආරක්ෂාව තර කිරීමට මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබේ.

එළැඹෙන ජුලි 2 වැනිදා සිට මඩු මංගල්‍යයේ දේව මෙහෙයන් ආරම්භ වන අතර එම දිනයන්ට පැමිණෙන බැතිමතුන් මඩු මාතා විශේෂ දේව මෙහෙය පැවත්වෙන අගෝස්තු මාසය දක්වා මඩු දේවස්ථාන භූමියේ තාවකාලික කූඩාරම් ඉදිකර රැඳී සිටී.

කෙසේ වෙතත් මෙවර පවතින කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් දේව මංගල්‍යයට සහභාගී වන බැතිමතුනගේ ආරක්ෂාව වෙනුවෙන් ද සෞඛ්‍ය උපදෙස් මත දුර සිට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට සිදු වන බවටත් ඉන් බැතිමතුන් වෙනුවෙන් සිදුවන අපහසුතාවන්ට කනගාටුව ප්‍රකාශ කරන බවටද මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය පවසා සිටී.

එමෙන්ම මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සැලසීමේ කටයුතු සොයා බැලීමට මන්නාරම 54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බංඩාර මහතා මඩු දේවස්ථාන භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් උපරිම ආරක්ෂාවක් බැතිමතුනට ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබීය.