මංතීරුවට ගැලවූ අලිවැට ඉල්ලා ගොවී උද්ඝෝෂණයක්


(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත යෝජිත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සඳහා ගලවා දමන ලද අලි වැට වහා නැවත ඉදිකරන ලෙස බල කරමින් පොලොන්නරුව,නවනගරය පත්තිනිපෙදෙස ගම්වාසීහු පිරිසක් අද පරාක‍්‍රම සමුද්‍රයේ වෑකන්ද මත පිහිටි පත්තිනි දේවාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ.

මෙම අලිවැට ගලවා දැමිම හේතුවෙන් තම ගම්මානවලට නිතර  අලින්ගේ හිරිහැර එල්ලවීමට පටන්ගෙන ඇතැයි ගම්වාසීහු පෙන්වාදෙති.

පසුගිය දිනවල පත්තිනිපෙදෙස ගම්මානයට පැමිණි වන අලි ගෙවතුවල වගාකර තිබූ අවුරුදු 40-50 වයස පොල් ගස් ආදිය පෙරළා විනාශ කර ඇතැයිද කීහ.

එහෙයින් ඇවිදින මංතීරුව ඉදිකිරීමට බව කියමින් ගලවා ඉවත්කරන ලද, අලි ගම්වැදීම වැළැක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉදිකර තිබූ ආරක්‍ෂක විදුලි වැට නැවත සකස් කරදෙන ලෙස අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු ප‍්‍රකාශ කළහ.

පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී.කීර්ති චන්ද්‍රරත්න මහතාගෙන් අප එම අලිවැට ගලවා ඉවත් කිරීම සම්බන්‍ධයෙන් විමසූවිට ඔහු කියා සිටියේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට මීටර් 800ක් පමණ දුරට ඉදිකර තිබූ අලිවැට ගලවා ඉවත්කර දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් කරන ලද ඉල්ලීමකට අනුව දැනට මාසයකට පමණ පෙර එය ගලවා දැමූ බව බවය.

ඉන්පසුව වනඅලි ගම්වැදීමට පටන්ගෙන ඇති නිසා නැවත් පෙර තිබූ පරිදි එය ඉදිකිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය. ඒ අනුව සඳුදා සිට අලිවැට නැවත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන බවද චන්ද්‍රරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.