(බිඟුන් මේනක ගමගේ)
නෛතික හා ආගමික ප්‍රශ්න හේතුවෙන් මෙවර මහමැතිවරණයේදීත් භික්ෂුණින් වහන්සේලාට ජන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමි විය හැකි යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’යට අද(1) පැවැසීය.
මෙරට පිහිටුවා ඇති මෙහෙණි ආරාම 346ක, 8,000කට ආසන්න භික්ෂූනින් වහන්සේලා වාසය කළත් උන්වහන්සේලාගෙන් ජාතික හැඳුනුම්පත් හිමිව ඇත්තේ, 300 ක් වැනි සුළු පිරිසකට යැයි ද ඡන්දය ප්‍රකාශය කිරීමේදී මෙය සෘජුවම බාධාවක් වී ඇතැයි ගජනායක මහතා අවධාරණය කළේය.
මෙම ගැටලුව මැතිවරණ කොමිෂන් සභාවට පමණක් විසඳිය නොහැකි යැයි කී හෙතෙම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙන්ම මහානායක ස්වාමීන්වහන්සේලාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතු ජාතික කර්තව්‍යයක් බවට එය පත්ව ඇතැයි කීවේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයට අදාළ තම අවසන් වාර්තාවේ ද මේ කරුණ පැහැදිලිව සඳහන් කළ නමුත් මේ වනතුරුත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුව නැතැයි ගජනායක මහතා කීය.
සසුන්ගත කරුණු පිළිබඳ විවාදය දිගුකලක් පැවතිය හැකි බැවින් භික්ෂුණින් වහන්සේලා වෙත ජන්ද භාවිතයට අදාළ පහසුකම් සැපයීම නොපමාව සිදුවිය යුතු හදිසි කාර්යයක්ය යන්න මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මතය යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.
මෙම කරුණ ගැන කඩිනම් අවධානය යොමු නොකළහොත් ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මෙවර මහමැතිවරණයේදී ද භික්ෂූනින් වහන්සේලා අපහසුතාවයට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

