භාවිතා කළ වචනය ගැන පසුතැවීමක් නෑ


(ඩයනා උදයංගනී)

දෙවිවරුන් ලෙස සලකා ගරු කරන ගුරුවරුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගන්නා කිහිපදෙනෙක් වෙනුවෙන් භාවිතා කළ වචනය ගැන තමා තුළ පසුතැවීමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ ගැන තවදුරටත් කතාකිරීමට තමන් කැමති නැතැයි කී ඇමතිවරයා ගුරුවරුන් පොළඹවමින් තම අරමුණු වෙනුවෙන් භාවිතා කරන අය වෙනුවෙන් භාවිතා කළ යුතු වචනයක් තිබෙනවා නම් එය කීමට තමා පසුබට වෙන්නේ නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීමේ අවංක අවශ්‍යතාවක් රජයට ඇතත් කොවිඩ් අර්බුදය නිසා ඉතා අපහසු තත්වයක් ඇතිව ඇතැයි ද ඇමතිවරයා කීවේය.

ලෝකයේ බොහෝ රටවල් සහ මෙරට පෞද්ගලික අංශයේ ඇතැම් ආයතන වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පියවර ගෙන තිබියදීත් රජය රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ වැටුප් ගෙවන බව කී ඇමතිවරයා මේ වසර අවසානයේ ඉදිරිපත් කරන අයවැයෙන් ගුරුවරුන්ගේ මෙන්ම අනෙකුත් රජයේ සේවක වැටුප් ගැටලු ගැන අවධානය යොමු කරන බව ද කීවේය.

එසේ තිබියදී දේශපාලන වශයෙන් කඩා වැටී ඇති ඇතැම් කණ්ඩායම් මෙයින් පාලමක් හදාගෙන ගොඩවෙන්න උත්සාහ කරන බව ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

පෞද්ගලික ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ 200ක් ගත් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ගුරුවරුන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ තමාට එම ගෙවීම ලැබෙන්නේ රක්‍ෂණයක් ලෙස බවයි.