බෝම්බ පිපිරීම්වලට සැක 69 දෙනෙකු සීඅයිඩී සහ ටීඅයිඩී අත්අඩංගුවේ


(ඉන්දිකා රාමනායක)

පාස්කු දින සිදුවූ පිපිරීම් වලට ආදාලව සැකකරුවන් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහ ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසයේ  අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම පිරිසෙන් 44 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරන බවත් ඉන් හත් දෙනෙකු කාන්තාවන් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

තවත් 15 දෙනෙකු ත‍්‍රස්තාවාදී විමර්ශන කොට්ඨාසයේ  රඳවාගෙන ප‍්‍රශ්න කරන බවත් ඉන් දෙදෙනෙකු කාන්තාවන් බවත් රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ත‍්‍රස්තාවාදී  විමර්ශන කොට්ඨාසයේ  රඳවා සිටින 15 දෙනා අතර හත් දෙනෙකු  දෙහිවල බෝම්බ පිපිරීමට ආදාලව සැකපිට අත්අඩංගුවට ගත් පිරිස් බවත්   සෙසු 8 දෙනා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන බාරදුන් පිරිස් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

ඉකුත් 21 වැනි දින සිට මේ දක්වා  දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් සැකකරුවන් හා සැකකාරියන් 150 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.