බිලියන තුනක කුඩු සමග ඇල්ලූ ධීවරයන් රඳවා ගන්න අවසර


(රෝෂන් තුෂාර)

දෙවුන්දරට ඔබ්බෙන් වූ දකුණු මුහුදු තීරයේ දී රුපියල් බිලියන තුනකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 133යි ග්‍රෑම් 28 ක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් පස්දෙනා ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද අවසර ලබා දුන්නේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම අවසරය ලබා දුන්නේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කරුණු දක්වමින් කියා සිටියේ පසුගිය 15වැනි දින ලැබුණු තොරතුරක් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසිය එක්ව කළ වැටලීමකින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

පසුගිය 16 වැනි දින දික්ඕවිට වරායට රැගෙන ආ සැකකරුවන් පස් දෙනා සහ බෝට්ටුවේ හිමිකාරිය සහ ඇයගේ පුතා මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන බවත්, මත්ද්‍රව්‍ය ආනයනය සන්තකයේ තබා ගැනීම , ජාවාරම් කිරීම හා ඊට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙමින් , එක් එක් සැකකරුවන් සම්බන්ධයෙන් ඇති චෝදනා මොනවාද යන්න පිළිබඳව සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.