බිරිඳට - දරුවන්ට ඇසිඩ් ගැසූ අයෙකුට මරණ දඬුවම


(රොහාන් කුමාර දිසානායක)

තම බිරිඳට හා දරුවන්ට ඇසිඩ් ප්‍රහාර එල්ල කර, බිරිඳ ඝාතනය කර, දරුවන්ට බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ව්‍යාපාරිකයෙකුට මරණ දඬුවම නියම කළ කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 30,000ක දඩ මුදලක් ගෙවන ලෙසද අද (02) නියෝග කළේය.

මේ ලෙස දඬුවම් නියම කෙරුණේ හෙම්මාතගම පදිංචි මොහොමඩ් පාරුක් මොහොමඩ් මුස්තාෆා නමැති 44 හැවිරිදි තිදරු පියෙකුටය.

2012 ජනවාරි 14වැනිදා හෝ ආසන්න දිනකදී ගම්පොළ පාර හෙම්මාතගම නිවසේ දී ඇතිවූ බහින්බස් වීමකදී සැකකරු ඇසිඩ් බෝතලයකින් බිරිඳට සහ දරුවන්ට පහරදී තිබිණි.
 
බරපතල තුවාල ලැබූ බිරිඳ සහ දරුවන් තුන්දෙනෙකු හෙම්මාතගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බිරිඳ මියගොස් ඇත. වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවන් පේරාදෙණිය  ශික්ෂණ රොහලට මාරුකර යවා තිබිණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හෙම්මාතගම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලගු නොවන විභාගයෙන් අනතුරුව, නීතිපතිවරයා සැකකරුට විරුද්ධව චෝදනා 4ක් යටතේ අධි චෝදනා ගොනුකර කෑගල්ල මහ අධිකරණයේ නඩු පවරනු  ලැබීය.

කෑගල්ල මහ අධිකරණයේ නඩු විභාගයෙන් පසුව ඉදිරිපත් වූ සාක්ෂි අනුව සැකකරු වැරදිකරු විය.

ඒ අනුව කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා පළමු චෝදනාවට මරණ දඬුවම නියම කරමින් දෙවන, තුන්වන හා සිව්වන චෝදනාවලට වසර තුන බැගින් වසර 9ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද රුපියල් 10,000 බැගින් චෝදනා තුනට රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙසද එය නොගෙවන්නේ නම් මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.