බිත්තර ගැටලුව විසඳන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක්


(අංජුල මහික වීරරත්න)

බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලේම  සහභාගීත්වයෙන් කෘෂිකර්ම  සාකච්ඡාව පැවැත්විණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා කුකුළු ගොවිපොළ අයිතිකරුවන් අතර මෑතක සිදුවූ ගැටුම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ විය. 

එහිදී කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී සියලු පාර්ශ්ව එක්ව කටයූතු කළ යුත්තේ රටේ පවතින බිත්තර හිඟය තුරන් කරලීම මෙන්ම ජනතාව මුහුණ දී සිටින පෝෂණ ඌනතාවලට පිළිතුරු සෙවිම විනා ගහමරා ගැනීමට නොවන බවයි.

දැනට දෛනික දේශීය බිත්තර අවශ්‍යතාවය මිලියන 07කි. මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෛනික බිත්තර අවශ්‍යතාවය සදහා පවතින  හිඟය මිලියන 1.4ක් පමණ වේ. මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට තවදුරටත් බිත්තර ආනයනය කිරීමේ ගැටළුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පැවසීය.

කෙසේ වුවද මෙම වසර අවසන් වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාමත් සමග බිත්තර තවදුරටත් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව වෙළද හා පාරිභොගික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. එමනිසා රටේ පවතින බිත්තර ගැටළුව සියලු පාර්ශ්ව එක්ව විසඳා ගැනීමේ වැඩ පිළිවෙළක් අද සිට අරඹන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.