බැසිල්ගේ ලිත් නඩුව මාර්තු 30ට කල්යයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩු විභාගය ලබන වසරේ මාර්තු 30 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (28) නියම කළේය.

ජනාධිපතිවරණ පනතට පටහැනි වන ආකාරයට 2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුලත් කර දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටි.

මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් උපදෙස් ලබාගැනීමට නොහැකි වු බව කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්‍ෂ මහතාට මාස තුනක කාලයකට ඇමරිකාවට යෑමට ද අවසර දුන්නේය.

මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරූ කරන්නැයි ඉල්ලා විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම මීට පෙර අවස්ථාවකදී ප‍්‍රතික්ෂේප කිරීම හේතූවෙන් මෙම නඩුව අද (28) සිට දින 04ක කාලයක් පුරා විභාග කිරීමට නියමිතව තිබිණි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය අමතමින් මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරූ කරන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

කෙසේ නමුත් මෙම නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට නොහැකි වු හෙයින් මෙම නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා රෝගී තත්වයෙන් පෙළෙන තම සේවාදායකයාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමරිකාවට යෑමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ මාර්තු 30 වැනිදා කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා සහ ජයන්ති වීරසිංහ යන මහත්වරුන් පෙනී සිටියහ.