බාලවයස්කාර දැරියක් පැහැරගත් පුද්ගලයකු අත්අඩංගුවට


(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල )

වයස අවුරදු හතරයි මාස අටක බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යමින් සිටි පුද්ගලයකු අද (23) අත් අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලීසිය පවසයි.

 අද(23) අලුයම  මෙම පැහැරගැනීම සිදුවී ඇති බව කියති.
 
ඉඟිනියාගල ධීවර ගම්මානයේ නිවසක මව සමඟ මෙම දැරිය නිදාගෙන සිටි බවත් අලුයම 3.30 ට පමණ මව අවදී වී බලන විට තමන් සමඟ ඇඳේ නිදාගෙන සිටි දැරිය පෙනෙන්න ට නොසිටි බැවින් ඒ ගැන විමසිලිමත්ව සොයා බලා ඇති බව කියති. 
 
එම කාමරයේ ජනේලයක පියන ඇර කාමරයට ඇතුළු වී ඇති සැකකරු දැරිය පැහැරගෙන ඉදිරි පස දොරෙන් පිටව ගොස් ඇති බව මෙහිදී දැන ගත් මව ඉඟිනියාගල පොලීසියට ඒබව දැනුම් දී ඇත.
 
එහිදී වැඩ බලන ස්ථානාධිපති වරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කර ඇත.  
 
මේ අතර අලුයම ඒ අසල පාරේ ගමන් කළ සිවිල් ආරක්ෂක භටයෙකු කිසියම් පුද්ගලයෙකු දැරියක් රැගෙන යමින් සිටිනු දැක සැක පලවීමෙන් ප්‍රශ්න කර අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත.  

අත් අඩංගුවට ගත් තිස් පස් හැවිරිදි විවාහකයෙකු වන  සැක කරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් බව අනාවරණය වී ඇති අතර දැරිය විසින් මාමා යයි හඳුන්වන සැකකාර පුද්ගලයා තමන් පැහැරගෙන ගිය බව පොලීසියට පවසා ඇත.
 
දැරියගේ නිවස ළඟම තිබෙන ඥාති නිවසකට මෙම සැකකරු නිතර පැමිණි අයෙකු වන බවත් සදහන් විය.
 
ඒ අනුව අම්පාර මූලස්ථාන පොලීසියේ ඇඟිලි සළකුණු අංශය හා පොලිස් නිල සුනඛ අංශය ඇතුළු විශේෂ අපරාධ ස්ථාන පරීක්ෂණගාරයේ නිලධාරීන් කැඳවා පරීක්ෂණ අරඹා ඇති අතර දැරිය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමිට නියමිත විය.
 
මෙම දැරියගේ පියා රැකියාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයට ගොස් සිටින බවද පොලීසිය සඳහන් කරයි .

අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී පී.එම්.ජයරත්න මහතාගේ උපදෙස් මත ඉඟිනියාගල පොලීසියේ වඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එල්.එම්.ගපූර් පොලිස් පරීක්ෂක  උප පොලිස් පරීක්ෂක ධම්මික  උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ යන නිලධාරීන් ඇතුළු අම්පාර කොට්ඨාශ භාර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධීපතිනී ස්වර්ණ කාන්ති  අම්පාර මූලස්ථාන පොලීසියේ මූලස්ථාන ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධීපතිනී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානී ගමගේ යන මහත්ම මහත්මීහූ වැඩි දුර පරීක්ෂණ පවත්වති.