දිනේෂ් උපේන්ද්‍ර
වයස අවුරුදු හතක බාලවයස්කරුවකු අපයෝජනය කළැයි මසකට අධික කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවකු රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදාහරින ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියෝග කළාය.
එම ඇපකරුවන් උප්පැන්න සහතිකයේ සනාථ මුල් පිටපත් හා පදිංචි සහතික ඉදිරිපත්කළ හැකි සැකකරුගේ සමීප ඥාතීන් විය යුතු බවද ඉන් දෙදෙනෙකුගේ වත්කම් සහතික ඉදිරිපත් කළ යුතු බවටද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
එසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ඇන්නරුව විහාරස්ථානයේ ඉකුත් පොසොන් පෝය දින ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරියෙක් වූ අතර එම විහාරස්ථානයටම පැවිදිවීම පිණිස පැමිණි බාලවයස්කාර දරුවෙකු එසේ සැකකරු විසින් අපයෝජනයට ලක්කර ඇතැයි නඩු පවරා තිබිණි.
කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත‍්‍රාත්වරිය එසේ දැඩි ඇප කොන්දේසි මත මුදාහරිමින් පැමිණිලි පාර්ශවයට කිසියම් හෝ බලපෑමක් සිදුකළ බවට අධිකරණයට වාර්තා වුවහොත් නඩු කටයුතු නිමවන තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන බවටද තරයේ අවවාද කළාය.

