බ්‍රිගේඩියර චන්දන මේජර් ජනරාල් තනතුරට නිර්දේශ කරන්නැයි නියෝගයක්


(රන්ජන් කටුගම්පොළ)

පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා මේජර් ජනරාල් තනතුරට උසස් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය හමුදාපතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව ඒ මහතාට හිමිවිය යුතු හිඟ දීමනා සහ වැටුප් වර්ධක ලබා දෙන්න ලෙසට අධිකරණයෙන් නියෝග කෙරිණි.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා ගොනු කොට තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කිරීමෙන් අනතුරුවය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

මෙම රීට් පෙත්සමේ වග උත්තරකරුවන් හැටියට ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.