බස්නාහිර හිටපු මහ ඇමැතිගේ සැප රිය හම්බන්තොට වැඩ


(විනීතා එම් ගමගේ)

බස්නාහිර පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයාට වෙන්කර ඇති රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් ජීප් රථය හම්බන්තොට දිස්ත‍්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට දේශපාලන කටයුතු සඳහා ලබාදී ඇති බැවින් රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යොදවන්නැයි ඉල්ලමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

විශේෂ ව්‍යාපෘතියක් සඳහා එකී වාහනය ලබාදෙන බවට ඔක්තෝබර් 28 වැනිදා සටහන් යොදා ඇති නමුත් එම රථය ඊට පෙර නිදහස් කර ඇති බවට තම සංවිධානය නිරික්ණය කළ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

බස්නාහිර පළාතට අයත් වාහනයක් වෙනත් පළාතක ව්‍යාපෘති සඳහා යෙදවීම සිදුවන්නේ කෙසේ ද යන්න ප‍්‍රශ්නයක් බවත් මෙම වාහනය ලබා දීම පිළිබඳව අදාළ අමාත්‍යංශ ලේකම්වරයා හෝ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරියා වගකිව යුතු බවත් ඔහු යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම බස්නාහිර පළාත් සභාව සතු, ප‍්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් වෙන් කර ඇති මාධ්‍යය ඒකකයේ නිලධාරීන් සහ කැමරා උපකරණ සියල්ල බස්නාහිර පළාත තුළත් ඉන් පිටතත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් පොදුජන පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවද වාර්තා වී ඇති අතර තම නිරික්ෂකයින් මේ පිළිබඳව නිරික්ෂණය කර ඇති බවද හෙට්ටිආරච්චි මහතා අද (10) යවන ලද එම ලිපිය මගින් දන්වා තිබේ.