(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දහවල් කාලයට මගී ප්‍රවාහන සේවය සඳහා යොදා ගන්නා බස් රථයෙන් රාත්‍රී කාලයේ දී සොරකමේ ගිය තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ පුද්ගලයෙකු සොරාගත් රුපියල් ලක්ෂ 3 කට අධික වටිනා දේපල සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිසාව අපරාධ කොට්ඨාෂය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු බස් රථයේ කොන්දොස්තරවරයා වන අතර සොරකම සඳහා යොදාගත් බස් රථය ද සමග අත් අඩංගුවට ගනු ලැබූයේ කඩවත අධිවේගී පාලම යට දී බව පොලිසිය සඳහන් කරයි .
වැටලිමත් සමගම බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ හිමිකරු සහ අතිරේක කොන්දොස්තරවරයා පලා ගොස් ඇත.
එම සැකකරුවන් සොරා ගෙන තිබූ රුපියල් එක් ලක්ෂ විසි දහසක් පමණ වටිනා යකඩ පලංචි උපකරණ සහ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා නයිට්‍රජන් වායුව අඩංගු සිලින්ඩර දෙකක් සැකකාර කොන්දොස්තරවරයා අනාවරණය කල තොරතුරු මත පොලිසිය මඟින් සොයාගෙන ඇත.

