බන්ධනාගාර රෝහල්වලට හදිසි ප්‍රතිකාර ඒකක


(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර ගත වන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බන්ධනාගාර වල බෝ නොවන රෝග වැඩිවීම, ප්‍රමාණය ඉක්මවා රැදවියන් සිටීම වැනි හේතුන් නිසා මානසික ආතතීන් හා පීඩනකාරී පරිසර  තත්ත්වයන් ඇතිවන බවද නලින්ද ජයතිස්ස මහතා කීය. 

අමාත්‍යවරයා මේ බව කීවේ මෙරට ස්ථාපිත  බන්ධනාගාර රෝහල් 24 වල බන්ධනාගාර නිලධාරීන්, රැදවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන්  ක්‍රියාත්මක කෙරෙන විශේෂ වෛද්‍ය සායන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

උත්සවය වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර වැඩසටහන  16 වැනිදා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ.

බන්ධනාගාර රෝහල් වලට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, බන්ධනාගාර රෝහල් වල හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

බන්ධනාගාර රෝහල් වල කාන්තා වාට්ටු වල පවතින ගැටළු නිරාකරණයටත් කඩිනමින් කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසීය.