බදුල්ල-කොළඹ දුම්රිය ධාවනයට බාධා


(ප්‍රසාද් රුක්මල් ) 

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හපුතලේ සහ දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට අද (23) උදෑසන විශාල ටර්පන්ටයින්   ගස් කඩා වැටීමෙන් බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මේ නිසාවෙන් බදුල්ල සිට අද( 23 ) අලුයම කොළඹ කොටුව බලා ගමන් ගත් උඩරට මැණිකේ දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

පවතින අයහපත් කාළගුණික තත්ත්වයත් සමඟ මෙසේ දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇති අතර ,දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් විසින් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගස් කපා ඉවත් කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .