බදුල්ල - කොළඹ මාර්ගයේ පොඩි කොටසක් අරි


(සමන් පාලිත නානායක්කාර)

ගල් පර්වත ගස් සහ පස් කඳු කඩා වැටී අද (02) සවස හල්දුම්මුල්ලෙන් අවහිර වී තිබූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට පසුව යන්තමට වාහනයක් ගමන් කළ හැකි වන පරිදි කුඩා ප්‍රමාණයේ ඉඩක් විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.

මාර්ගය මැදට වැටී ඇති විශාල ප්‍රමාණයේ ගල් පර්වත කීපයක් තවමත් පවතින බැවින් ඒවා ගල්බෝර දමා කඩා ඉවත් කළ යුතුව ඇති බවද පොලිසිය පැවසීය.

මෙම ස්ථානයේ මාර්ගයට ඉහළ කඳුවැටියේ ගල් පර්වත තව පෙරළීමට ආසන්නයේ පවතින බවද නිතරම ගල්කුළු මාර්ගයට පෙරළෙමින් තිබෙන ස්ථානයක් බවද පැවසූ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය හෙට දින ජාතික ගොඩනැගී පර්යේෂක සංවිධානයේ නිරීක්ෂණ වාර්තාවක් ගෙන ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද පැවසුවාය.