බදුල්ල - කොළඹ මාර්ගය හල්දුම්මුල්ලෙන් අවහිර වේ


(සමන් පාලිත නානායක්කාර)

පවතින වර්ෂාව සමඟ අද 24 සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල නගරයට නුදුරු කදිරියේෂන් ඇල්ල ආසන්නයේදී විශාල ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජී පියංගිකා මහත්මිය පැවසුවාය.

ඉතා ප්‍රපාතාකාර බෑවුම් සහිත මුදුනක සිට මෙම පස් කඳු ගල් පෙරළී ඇත. මාර්ගයට වැටී ඇති සුන් බුන්  ඉවත් කිරීම අවදනම් බව පෙනී යන බැවින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව කටයුතු කළ යුතුව ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.

මෙම මාර්ගයට විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කරන හල්දුම්මුල්ල සොරගුණේ කිරවණාගම හරහා බෙරගලට වැටෙන මාර්ගයද පස් කඳු කඩා වැටී සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.

මේ නිසා කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය හල්දුමුල්ල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද පොලිසිය සඳහන් සඳහන් කළේය.