(විනීතා එම් ගමගේ)
සුළු කර්මාන්තකරුවන්ට දෙන සහන යටතේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අවසර පත් මඟින් ලබා ගන්නා තඹවලින් කරන නිෂ්පාදන ගැන හෝ එම නිෂ්පාදන විදේශ ගත කරන්නේ ද යන්න ගැන තම අමාත්‍යංශය සොයා නොබලන බව අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.
මේ නිසා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ බලපත‍්‍ර යටතේ එම්.අයි ඉන්සාෆ් අහමඞ් නැමැත්තාට අයත් කොලෝසස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම වෙත ලබා ගත් තඹ වලින් කළේ කුමක් දැයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය නොදන්නා බව එහි නිලධාරීන් ද අමාත්‍යවරයා ද එම මාධ්‍ය හමුවේදී පිළිගත්තේය. කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන ලද එක් අයෙක් ලෙස එම්.අයි ඉන්සාෆ් අහමඞ් නමැත්තා බව මේ වනවිට හෙළිවී ඇත.
කෙසේ වෙතත් එම සිද්ධීන්ට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි අමාත්‍යවරයා කියා සිටියේය.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඉලක්ක කර චෝදනා කරන නමුත් අමාත්‍යවරයා ලෙස කිසිම බලපෑමක් කිසිවෙකුටත් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා තමන් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කර්මාන්ත කරුවන් කිසිවෙකු ගේ ජාතිය හෝ ආගම සොයා බලන්නේ නැතැයි ද ඔවුන් විසින් දළ දේශිය ආදායම වැඩි කිරීමට කරන දායකත්වය පමණක් සොයා බලන බව ද සඳහන් කළේය.
තමන් පමණක් නොව අසාත් සාලි ආණ්ඩුකාරවරයා හා මුජිබර් රහුමන් මන්ත‍්‍රීවරයා ද මේ කිසිවකටත් සම්බන්ධ නොවන බව ස්ථිර වශයෙන්ම තමන්ට කිව හැකි යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
තම සහෝදරයන් දෙදෙනා මේ කිසිවකට සම්බන්ධ නොවන බව අමාත්‍යවරයා පවසද්දී දුරකථනවලට ආ කෙටි පණිවිඩයකින් කියැවුණේ බදුර්දීන් අමාත්‍යවරයාගේ සහෝදරයෙකු අත් අඩංගුවට පත්ව ඇති බවය. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් විමසද්දී අමාත්‍යවරයා කියා සිටියේ එය කිසිසේත්ම සිදුවිය නොහැකි බවය.
කෙසේ වෙතත් මාධ්‍ය හමුව අවසන් වීමට පෙර යලිත් කෙටි පණිවිඩ සේවාවෙන් කියැවුණේ අමාත්‍යවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර නිදහස් කර ඇති බවය.
මාවනැල්ල හා මඩකලපුව කවුරුන් හෝ නිදහස් කරන්න යැයි තමන් බලධාරින්ගෙන් ඉල්ලා නැති බවත් තම සහෝදරයා හෝ ඕනෑම කෙනෙක් වරදක් කර ඇත්නම් දඬුවම් දීමට තමන්ට එරෙහි නොවන බව ද හෙතෙම සහතික කළේය.
කෙසේ වෙතත් මේ සිද්ධියේ දී මාධ්‍ය කිසිදු ධර්මයකින් තොරව හැසිරෙන්නේ යැයි චෝදනා කළ අමාත්‍යවරයා සමහර ‘‘මාධ්‍යකාරයෝ ’’ ඇත්ත නැත්ත කිසිවක් සොයා නොබලා කටයුතු කරන බව ද පැවසුවේය. ඔහු මාධ්‍ය හමුව ඇමතූයේ දැඩි ආවේගශීලී ගතියකිනි.
මේ විනාශකාරි කල්ලි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු යැයි තමන් විශ්වාස කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා තම පවුලේ කිසිවෙක් මේ සිද්ධියට සම්බන්ධ නැතැයි ඉඳුරා කිව හැකි යැයි ද කීය.
කාදිනල් තුමන්ට ස්තූතිවන්ත විය යුතුයැයි කී අමාත්‍යවරයා එතුමන් යලිත් කළු ජූලියක් පැමිණීම වළකාලීමට කටයුතු කළ අන්දම ප‍්‍රසංශනීය යැයි ද ප‍්‍රකාශ කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති නවීන් අදිකාරම මහතා කියා සිටියේ ඉකුත් වසරේ ආයතන 313 ක් මේ අයුරින් ලියාපදිංචි වී ඇතැයි ද කොලෝසියස් පුද්ගලික සමාගම එයින් එකක් පමණක් බවය.
මේ ආයතනය 2017 වසරේ පළමු වරට මෙට‍්‍රික් ටොන් 17 ක් ලබාගෙන ඇති බවත් 2018 වසරේ දී මෙට‍්‍රික් ටොන් 100 ක් මාස හතරක දී ලබා ගෙන ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා එහි විශේෂයක් තමන් නොදකින බව ද කීය.
එම ආයතනය ගැන අවසන්වරට අභ්‍යන්තර විගණනයක් සිදු කර ඇත්තේ 2017 ජුලි මස 5 වැනිදා යැයි ද සභාපතිවරයා පැවැසීය.
මෙම අබලි ද්‍රව්‍ය කර්මාන්තකරුවන් වෙත ලබා දෙන්නේ අදාල ග‍්‍රාම සේවා නිලධාරීන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ ද ලබාගෙන ක්ෂේත‍්‍ර නිරීක්ෂණයකින් ද පසුව යැයි කී අදිකාරම මහතා හමුදාවෙන් තම ආයතනය වෙත හිස් පතොරම් කොපු ලබා දෙන්නේ තැලීමෙන් පසුව බව කී අමාත්‍යවරයා ඒ අනුව එය පාවිච්චි කිරීමට නොහැකි ලෙස ලබාදෙන බවත් ඒ අනුව එය අමුද්‍රව්‍යක් ලෙස මිස නිමි ද්‍රව්‍යක් ලෙස භාවිතා කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.
තඹ ලබා ගන්නා කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන ගැන ක්ෂ්‍රෙත්‍ර පරික්ෂණයක් සිදු කරන්නේ සාමාන්‍යයෙන් වසරකට වතාවක් පමණ කාලයකින් බවත් එම ආයතන ඉල්ලා සිටින්නේ නම් පමණක් ක්ෂ්‍රෙත්‍ර පරික්ෂණයකින් පසු අවශ්‍ය උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
ඡායාරූප - ගයාන් අමරසේකර



