බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම


(විනීතා එම් ගමගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ දී පිළිස්සී මියගිය 16 හැවිරිදි දැරිය පාසල් නොයවා මෙහෙකාර සේවයට යැවීම පිළිබඳව ඇගේ මව්පියන්ගෙන් හා ඇය ජීවත්වූ අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරියාගෙන් කරුණු විමසන බවත් ඒ් සම්බන්ධව ඔවුන්ට විරුද්ධව පියවර ගන්නා බවත් කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල්  නිශාන්ත මහතා ලංකාදීපයට පැවැසීය.  

දරුවන් පාසල් නොයැවිම ගැන මව්පියන් වගකව යුතු වුවත් ඔවුන්ට දරුවන් පාසල් යැවිය නොහැකි හේතූ ඇත්දැයි සොයා බැලීම ප්‍රාාදේශීය මට්ටමේ නිලධාරියා‌ ගේ වගකීමක් බවත් හෙතෙම කියා සිටියේය.

ඇගේ මරණය හා ඒ සම්බන්ධ සිද්ධීන් පිළිබඳව පොලිසිය හා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනමම විමර්ශන සිදුකරන බව කී අමාත්‍යවරයා ඊට අමතරව මේ සම්බන්ධව වාර්තාවක් කැඳවන බව ද කියා සිටියේය.

මෙවැනි දරුවන් තවත් තැන් තැන්වල මෙහෙකාරකම්වල යොදවා ඇතැයි විශ්වාස කරන බවත් ඒ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සමග එක්ව වැඩපිළිවෙලක් සකස් කළ බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා දිසා ලේකම් කාර්යාලය හා එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එහි නියමු ව්‍යාපෘතිය පවත්වන බව ද කීය.