බණ්ඩාරගම නිවසකදී ඉන්දියානු ජාතිකයෙක් අබිරහස් ලෙස මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රෙදි වෙළදාම සඳහා බණ්ඩාරගමට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු අටුලුගම පිහිටි නිවසක් තුළ අද (24) අබිරහස් අයුරින් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඉන්දියාව - තමිල්නාඩු  කිලකෝට්ටේ පදිංචිව සිටි කුමරේෂන් චන්ද්‍රසේකරන් නැමැති 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මීට වසර හතරකට පමණ පෙර මෙම පුද්ගලයා කොළඹ කදිරේෂන් වීදියේ නිවසක් කුලියට ගෙන ඉන්දියාවෙන් විවිධ ඇඳුම් ආනයනය කර කොළඹ ප්‍රදේශයේ වෙළඳ සැල් වලට සහ බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළඳ සැල් වලට පසුව මුදල් ලබා ගැනීමේ පොරොන්දුව මත ඇඳුම් ලබා දී ඇතැයි පොලිසිය කියයි.

මොහු අටුලුගම  ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරෙකු හඳුනාගෙන ඔහු සමඟ ව්‍යාපාර කටයුතු සිදු කර ඇතැයි ද සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි පොලිසිය පැවැසීය.

ව්‍යාපාර කටයුතු වලින් පසු ඉන්දියානූ ජාතිකයා ඊයේ (23) වැනිදා රාත්‍රීයේ ත්‍රී රෝද රථ රියදුරාගේ නිවසේ නවාතැන් ගෙන තිබූ බව පොලිසිය පැවැසීය.

අද (24) අලුයම  ත්‍රී රෝද රථ රියදුරා විසින් ඉන්දියානූ ජාතිකයා අසලට ගොස් කතා කර ඇතැත් පිළිතුරු ලබා නොදීම හේතුවෙන් බණ්ඩාරගම රෝහලට ඉන්දියානූ ජාතිකයාව ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කළ ඉන්දියානු ජාතකයා පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහු මිය ගොස් ඇති බවට දන්වා තිබූ බව පොලිසිය සඳහන් කළේය.